Wednesday 22nd of April 2026

English Tamil
Advertiesment


විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්


2025-07-28 14869

 

(ආචාර්ය ලයනල් බෝපගේ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)

 

අපි බොහෝ කාලයක් තිස්සේ ජීවත් වී තිබෙන්නේ බලය කේන්ද්‍ර ගත කරන ලද, ප්‍රජාතන්ත්‍රවාදය, වග වීම සහ විනිවිදභාවයේ හඬ යටපත් කරන ලද සහ හැම ශ්‍රී ලාංකිකයෙකුට ම යුක්තිය සහ සමානාත්මතාව අත්පත් කර දෙන්නට අපොහොසත් වූ ක්‍රමයක් යටතේ යැයි ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ හිටපු ලේකම්වරයකු වන ලයනල් බෝපගේ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (26) පැවති වෙබ් සම්මන්ත්‍රණයේ දී ය.

එම සම්මන්ත්‍රණයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ලයනල් බෝපගේ...

 

පවතින ක්‍රමය රකින්නෝ කවරහු ද...?

 

hjnmdf

 

''ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදයක ගමන් මග - 1931 ඩොනොමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිට, 1948 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා, 1972 සහ 1978 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දක්වා වූ අදියර බොහොමයක් තුළින් ගමන් කර තිබෙනවා. විධායක ජනාධිපති ධුරය හඳුන්වා දෙන ලද 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපේ ඉතිහාසයේ ඉතාමත් ම හානිකර පරිච්ඡේදවලින් එකක් වී තිබෙනවා. මෙම ක්‍රමය බලය පවරා තිබෙන්නේ: ආයතනවලට වඩා පුද්ගලයන්ට ය; පාර්ලිමේන්තුවලට වඩා ජනාධිපතිවරයන්ට සහ බහුවිධතාවයට වඩා බහුතර වාදයට ය.

1977 සිට පැවැත්වූ හැම මැතිවරණයක දී ම දේශපාලනඥයෝ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නට පොරොන්දු දී තිබෙනවා. එහෙත්, බලයට පත් වූ විට, ඒ පොරොන්දු අමතක කනු ලැබුවා. හේතුව පැහැදිලි යි. පවතින ක්‍රමය රකින්නේ ජනතාව නොවෙයි; බලය උසුලා සිටින අයව. උතුරු, නැගෙනහිර හා අනෙක් ප්‍රදේශවල සිටින ජන ප්‍රජාවන් තවමත් බැහැර කර ඇති බවක් හඟවමින්, එය අධිකාරි බලය කොළඹට ගොනු කර, පරීක්ෂාවට ලක් කරන්නට පාර්ලිමේන්තුවට තිබෙන බලය සීමා කර, පාලනයකට නතු නොකරන ලද විධායක බලයට ඉඩ ලබා දෙයි.



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය ඇයි...?

 

vbdfgfffhg

 

සරල නමුත් ගැඹුරු ප්‍රශ්නයක් අප අපෙන් ම ඇසිය යුතුයි: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අරමුණ වන්නේ කුමක් ද? හුදෙක් නීතිමය ලියවිල්ලක් පමණක් නොවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පාලන ක්‍රමය සඳහා පවතින සැලසුම් පිටපතක් වගේම අපේ සාමූහික වටිනාකම්වල පිළිබිඹුවක්. එය හැම පුරවැසියෙකු වෙතම සමානාත්මතාව, යුක්තිය සහ ගරුත්වය සහතික කළ යුතුයි. කණගාටුවට මෙන්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා බොහෝ විට පැවතී ඇත්තේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවාට වඩා බලය තහවුරු කර ගන්නා මෙවලම් ලෙසයි.

 අපේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතැම මූලික අයිතිවාසිකම් සහතික කරනවා; නමුත් එය දෙමළ භාෂාවට වඩා සිංහල භාෂාවට, අනෙකුත් ආගම්වලට වඩා බුද්ධාගමට වරප්‍රසාද ලබා දෙනවා. එය ආර්ථික හා සමාජීය අයිතිවාසිකම් නොසලකා හරින අතර, සුළුතර ජන ප්‍රජාවල අපේක්ෂාවන් ආමන්ත්‍රණය කරන්නට අපොහොසත් වී තිබෙනවා. පළුදු ව තිබෙන මෙම ව්‍යුහය දශක ගණනාවක් තිස්සේ පැවති ගැටුම්වලට, රටේ දකුණේ සහ උතුරේ වෙන වෙනම සිදු වූ සන්නද්ධ නැගිටීම් තුනකට දායක වී තිබෙනවා.

අප සෙසු ජාතීන්ගෙන් ඉගෙන ගත යුතුයි. වර්ණභේදවාදය අවසන් වීමෙන් පසුව, දකුණු අප්‍රිකාවේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පදනම් වුණේ සියලු ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහතික කරන අනිවාර්ය මූලධර්ම අඩංගු කොට කරන ලද පුළුල් අදහස් විමසීමක් මත ය. නේපාලයේ දී මුහුණ දුන් අභියෝග තිබිය දීත්, ඒ ක්‍රියාවලියේ ඇතුළත් වුණා, සෘජුවම තේරී පත් වුණ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක්. මුලින් මුහුණ දුන් අසාර්ථක වීම්වලින් පසුව පවා චිලී රට එහි ව්‍යවස්ථාදයක ගමන් මාවත තීරණය කිරීම සඳහා ජනතාව වෙත ආපහු ගියා. මෙම උදාහරණවලින් පෙන්වන්නේ කල් පවතින සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාවරත්වය ඇති වන්නේ ඇතුළත් කර ගැනීම සහ සංවාදය තුලින් බව; දේශපාලන ප්‍රභූ පැළැන්තීන් අතර රහසිගතව කරන ගනුදෙනුවලින් නොවන බව.
 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව

 

vbdfgfdd

 

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ අතීත ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලීන්, ඊට වෙනස් අන්දමට, රහසිගතව කරන ලද අභ්‍යාසයන් වුණා. කාන්තාවන්, ආදිවාසී ජනයා සහ ආන්තික කරණයට ලක් කරන ලද ජන ප්‍රජාවන් බොහෝ දුරට බැහැර කර තිබුණා. කිසිදු ආකාරයක තිරසර ජාතික සංවාදයක්, එකඟතා ඇති කර ගැනීමක් සිදු වුනේ නැහැ; ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමස්ත ජනතාවගේ අපේක්ෂාවන් පිළිබිඹු කරන බව සහතික කරන්නට අව්‍යාජ උත්සාහයක් දැරුවේත් නැහැ. මෙය වෙනස් විය යුතුයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පුළුල් මහජන අදහස් විමසීමකින් ආරම්භ කළ යුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ හෝ ආදිවාසී වැදි ජනයා වේවා, ඒ හැම ප්‍රජාවකට ම සවන් දිය යුතුයි. කම්කරුවන්, ගොවීන්, වෘත්තිකයන් සහ තරුණ තරුණියන්ටත් අදහස් දක්වන්නට අවස්ථාව තිබිය යුතුයි. තීරණ ගැනීමේ ක්‍රියාවලීන් ගෙන් දිගු කලක් තිස්සේ බැහැර කර තිබෙන කාන්තාවන් ක්‍රියාකාරී සහභාගි වන්නන් විය යුතුය.

මෙම ව්‍යවස්ථාවේ හිමිකාරිත්වය ජනතාවට දැනිය යුතුයි; එසේ නොවුවහොත්, එය නීති පුස්තකාලවල දූවිලි බැඳෙන තවත් ලේඛනයක් බවට පත් වනවා ඇති. මෙම ක්‍රියාවලියේ ප්‍රධානතම අංගය විය යුත්තේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යි. ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ කිසිදු තනි පුද්ගලයෙකු එවැනි පාලනයකින් තොර බලයක් හිමි නොවිය යුතුය. අපගේ අවධානය යොමු විය යුත්තේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම, පළාත් පාලන ආයතන බල ගැන්වීම සහ රාජ්‍යය ජනතාවට සේවය කරන බව සහතික කිරීම කෙරෙහි මිස අනෙක් අතට නොවේ.


13 වන සංශෝධනයෙන් ඔබ්බට
 
xfgrff

 

අප, 13 වන සංශෝධනය මුළුමනින් ක්‍රියාත්මක කර; ඉන් ඔබ්බට යා යුතු යි. බලය බෙදා හැරීම ජාතික සමගියට තර්ජනයක් නොවෙයි; එය ඇතුළත් කර ගැනීම සඳහා පවතින මාවතක්. සිංහල බහුතරයක් වෙසෙන ප්‍රදේශවල බොහෝ දෙනෙක් බලය බෙදා හැරීමට බිය වන්නේ එය බෙදුම්වාදය දෙසට තබන පියවරක් යනුවෙන් වැරදි සහගත ලෙස නිරූපණය කර ඇති බැවින්. එහෙත් යථාර්ථය නම්, එය රටේ ඒකීයභාවය ආරක්ෂා කරමින් අධ්‍යාපනය, සෞඛ්‍යය, ඉඩම් සහ පාලන යන්ත්‍රය සම්බන්ධයෙන්, තමන්ගේ ම ජීවිත පිළිබඳව තීරණ ගැනීමට ප්‍රජාවන් වෙත බලය ලබා දීම පිළිබඳව වන බවයි.

ඒ ඇරත්, අප ශක්තිමත් මූලික අයිතිවාසිකම් සහතික කළ යුතුයි. සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සමග ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් ද ආරක්ෂා කළ යුතුයි. සුළු ජන කොටස්වල අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, භාෂා අයිතිවාසිකම් සහ පරිසරය සුරැකීම සඳහා ප්‍රබල ආරක්ෂණ විධිවිධාන පැවතිය යුතුයි. ආර්ථික සංවර්ධනය මුලින් පැමිණිය යුතු බවටත්, දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා තව කල් සිටිය හැකි බවටත් සමහරු තර්ක කරනවා. නමුත් ඒ වැරදි තර්කයක්. බෙදී ගිය, අසාධාරණ සහ අස්ථාවර ව පවතින සමාජයක තිරසාර ආර්ථික සංවර්ධනයක් සිදු විය නොහැකියි. දේශපාලන ප්‍රතිසංස්කරණ කියන්නේ සංවර්ධනයෙන් අවධානය වෙනතකට යොමු කිරීමක් නොවෙයි; එය ඒ සඳහා පවතින පූර්ව අවශ්‍යතාවයක්.



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු ජීවමාන ලේඛනයකි
 
vbdfgvvv

 

NPP ආණ්ඩුව සිය ධුර කාලයේ පසු කාලීන ව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ආමන්ත්‍රණය කරන බව දක්වා තිබෙනවා. එහෙත් වුවමනාවට වඩා ප්‍රමාද වී ආරම්භ කළොත් අසාර්ථක වීමේ අවදානමක් පවතින බව ඉතිහාසය අපට උගන්වනවා. අප එය කලින් දැක තිබෙනවා; වටිනා කාලය අහිමි වී ගොස්, මැතිවරණ ළඟා වන විට දේශපාලන ධෛර්යය අතුරුදහන් වේ. ප්‍රතිසංස්කරණ පසෙකට දැමේ; පොරොන්දු අමතක කෙරේ; එකම චක්‍රය යළි යළිත් සිදු වෙයි. එය යලිත් සිදු නොවිය යුතුයි.

 ශ්‍රී ලංකාවේ අනාගත ගමන් මග වෙනස් කිරීමට අපට අවස්ථාවක් තිබෙනවා; හැම පුරවැසියෙකුට ම තමන්ටත් පංගුවක් තිබෙන බව හැඟෙන අලුත්, ප්‍රජාතන්ත්‍රවාදී, ඇතුළත් කර ගන්නා සමාජයක් ගොඩ නගන්නට. මෙය පහසු වන්නේ නැහැ. පවතින ක්‍රමයෙන් වාසි ලබන අයගෙන් විරෝධය එල්ල වනු ඇති; ප්‍රතිසංස්කරණ අඩපණ කරන්නට උත්සාහ දරනවා ඇති. එහෙත් ජනතා කැමැත්ත ස්වල්ප දෙනෙකුගේ බියපත් වීමට වඩා ශක්තිමත්. අවසාන වශයෙන්, මම මෙසේ කියන්නම්: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ හුදෙක් කඩදාසියක ලියා තිබෙන වචන පමණක් නොවෙයි;  එය ජීවමාන ලේඛනයක්. එය අපව කුරිරු පාලනයෙන් රැක දිය යුතුයි; අපගේ නිදහස ආරක්ෂා කළ යුතුයි; සාධාරණ සමාජයක් ගොඩනැගීමට අපට උපකාර කළ යුතුයි.

ශ්‍රී ලංකාව එහි සිටින සියලු ජනතාවට සාමය, සමෘද්ධිය සහ ගරුත්වය අත් කර දෙන්නට නම්, අපගේ බහුත්ව අනන්‍යතාවය සැබවින්ම පිළිබිඹු කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කළ යුතුයි. අප විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු යි, බලය විමධ්‍යගත කළ යුතු යි, අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු යි, දේශපාලනඥයන් නොව ජනතාව පාලන ක්‍රමයේ හදවත බවට පත් කල යුතුයි. නව ආරම්භයක් සඳහා කාලය පැමිණ ඇත. අපි එය නාස්ති නොකරමු."

 

- The Leader -
Advertiesment